Tuesday 7 August 2018



සැනසීම




වර්තමාන ආර්ථික වපසරිය තුළ මිනිසා මුදල් පසුපස හඹා යන යන්ත‍්‍ර බවට පත් ව ඇත. මිනිසා විසින් මිනිසාගේ ම විනාශය කෙරෙහි අර අදින ලීලාවක් එ තුළ විද්‍යාමාන වේ. මව හා පියා යන දෙදෙනා ට රැකියාමය ගැටළු මත අධික ලෙස කාර්ය බහුල වීම තුළ ඔවුන්ගේ දරුවන් හදා වඩා ගන්නේ අත්තම්මා  හෝ සීයා ය. එසේ නැතහොත්, නිවසේ මෙහෙකාරිය යි. බොහෝ නාගරික සමාජ වටපිටාවන් තුළ කුඩා දරුවන් රැක බලා ගන්නේ වැටුපක් මත රැඳී සිටන කාන්තාවන් ය. එසේ නැතහොත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ය. අම්මා පිසින ලද කිරි හොද්දක් සම`ග බත් කටක්, අම්මාගේ අතින් ම, හුරතල් වෙවී  කන්නට මහා මන්දිර වල දරුවන් පිං කර නැති හැඩ ය. කුඩා ලෑලි හෝ වරිච්චි නිවසේ ජීවිතය ගැටගසා ගන්නට ඉමහත් තැතක් දරණ ගැමි මවක ට දාව උපන් පුංචි එකාට නම්, අම්මාගේ සෙනෙහස අඩුවක් නැත. ගම පුරා ඇවිද ඇවිද, නොයෙක් රස කථා කියවමින් ගහකොළ, සතා - සිව්පාවන්  පෙන්වමින් ඈ තම පුංචි පැටියා ට බත් ගුලි කිහිපයක් මුව තුළට රිංගවයි. එහෙත්, නාගරික සමාජයේ ධනපතීන්ට දාව උපන් පැටවුන් ට එවන් සෞඛ්‍යමය අත්දැකීම් නම් නැත. කොන්ක‍්‍රීට් බිත්ති අතර නොයෙක් පාට සායම් තවරවා විවිධ මාදිලියේ විදුලි බුබුළු, ගෘහ භාණ්ඩ හා පොළව මත අල්වා ඇති දිස්නය න`ගන වීදුරු කැට හැරුණුකොට ඔවුන්ට දකින්න ට ඇත්තේ නිවස වට කර ඇති දැවැන්ත තාප්පය පමණකි. ඔවුන් මෙන් ම ඔවුන්ගේ සමස්ත ජීවිතය ම ද එකී පවුර තුළ ගාල්වී ඇත.

වැටුපකට දරුවන් බලා ගන්නා කතකට වැදූ මවුට මෙන් දරුවන් කෙරෙහි ආදරයක් සෙනෙහසක් ඇත්තේ නම්, එය ආශ්චර්්‍යයකි. හෙට හිරු පායනවා සත්‍යයක් නම්, එය නම් කිසි දින සිදු නොවන්නකි. මා තුළින් ජන්මය ලබන පැටියා ට මා තරම් ම මගේ ම මෑණියන් ට වත් ආදරය කළ නොහැකි බව යි.  මගේ තර්කය වන්නේ. ඒ කෙසේ වෙතත් සිල්ලර මව් සෙනෙහසකින් දරුවා තුළ කුමන චමත්කාරයක් ජනිත කර වේද? මිත්තනියක ට හෝ සීයා කෙනෙකුට මව- පියායන භූමිකාව කිසිම විටෙක 100% ක් ම සාර්ථක කරගත නොහැක. මන්ද යත්, ඔවුන් ජීවිතය තුළ ගතකරනුයේ විවේකීව, නිස්කලංක ව සිටිය යුතු සැඳෑ සමය වීම නිසා ය. එහෙයෙින් ඔවුන් ට කුඩාවුන් සම`ග ඔට්ටු වීම ට වාරු නොහේ. නූතන කාර්්‍යය බහුල ජීවන රටාව තුළ, පුංචි දරුවා අතිශය හුදෙකලා මට්ටමක ට පත් වී ඇත.

තව ද සැමියා හා බිරිඳ යන ස්වර්ණමය බන්ධනයන් පවා විසිරී ගොස් ය. සමාජ පරිණාමය සම`ග අප ද අළුත් විය යුතු ය. ඒ හා සමාන්තර ව ගමන් කළ යුතු ද වේ. එහෙත්, අපට අපව ම අහිමි ලොවක් තුළ  තව කොපමණ කැඹිරුව ද ඉන් ඵලක් වේවි ද?  බිරිඳ සේවා අවසන් වී නිවසට පැමිණෙන විට, සැමියා රාජකාරියේ ය. සැමියා ට ද මේ තත්ත්වය එසේ ම ය. සැමියා හා බිරිඳ යන සංකල්ප වලට ලං වීම, සුහද බව නිරන්තර ස්පර්ශය තිබිය යුතුය.

 එසේ  නොවුණ කල එකී බැඳිම් බිඳි යා හැක.  එ තුළ ඔවුන් තුළ වූ සැනසීම ඔවුන්ගෙන් දුරස් කරවන ප‍්‍රබල කාරණවන් ගැබ් ව පවතී. මෙය දරුණු සමාජමය ඛේදවාචකයන් හි මූලාරම්භය ද වේ. එමෙන් ම ඥාති හිතමිතුරන්වත් නොහඳුනන තාලෙන් ජීවත් වීමටද මෙකී ධනවාදී සමාජ ම ය.  විපරියාසය තුළ ඇති නව ප‍්‍රවණතාවයකි. හුදකලාමය ජීවිත තුළ කුඩා කල සිටම ජීවත් වීමට දැඩි ලෙස හුරුවූ පිරිස් වැඩිවියට පත්වූ විට එකී හුදකලාව අසීමිතව බලාපොරොත්තු වෙති. එහෙයින්, ඥාතීන්  බැහැදැකීම ට හෝ ඥාතීන්ගේ ආගමනය කිසි විටෙකත් ඔවුන් ට ප‍්‍රීතියක් ගෙන නො ආහ.
නෑදෑ  ගෙදරකට ගොඩ වීම මහත් ලෙසට නිදහස අහිමි වන තීරණයකැයි ද, ඥාතීන් - හිතමිතුරන් තම නිවසට  මොහොතක ට හෝ ගොඩ වීම ද, මහා දරුණු වසංගතයක් බෝවන කාරණාවක් සේ පිළිකුල් කරති. සමාජ සංස්ථාවක් සමතුලිත ලෙස ඉදිරියට පවත්වාගෙන යාම ට සමාජමය සබඳතාවන් නිසි පරිදි සිදුවිය යුතු ය. මාමා- නැන්දා, බාප්පා- පුංචි නොහඳුනන සමාජයක අනාගත මානවීය බන්ධයන් කවර  ලෙස පවතීවි ද?

අද වන විට, බටහිර ලෝකයේ රටවල් ආගම දහම වෙත ඇදී ඒම ශ‍්‍රීඝ‍්‍රයෙන් සිදුවේ. ඔවුන් සිය ධනවාදී ආර්ථිකය පසුපස හඹා ගොස් දැඩි සේ ගිලන් වී ඇති සෙයකි. ලාංකේය සමාජයට තමා පෙළෙන්නා වූ  ගිලන් බව පිළිබඳ නිසි අවබෝධයක් නැතිවා සේ පෙනේ.
මානසික වශයෙන් මෙන් ම ශාරීරික වශයෙන් ද මිනිසා ගිලන් වී ඇත. එකී ගිලන් බවින් අත්මිදීම උදෙසා කොපමණ ඖෂධ ගත්තද ඉන් සම්පූර්ණ සුවය නොලැබේ. ජීවිතය තුළ අප නොදන්නවා වූවාට ඖෂධ වලින් ලබන සුවයට වඩා අධ්‍යාත්මික පවිත‍්‍රත්වය තුළින් අත්පත් කරගත හැකි සුවය අති මහත් ය. LCD, LED යැයි නම් දරණ, අධික මූල්‍යමය වටිනාකම් දරණ, යාන්ත‍්‍රික රූප පෙට්ටිය දෙස කෙතරම් බලා සිටියත් ඉන් පූර්ණ සැනසීමක් ඇති නොවේ. එතුළින් සිදුවන්නේ මනස තවත්  දූෂ්‍ය වීමකි.
එහෙත්, අප මහා තථාගතයාණන් වහන්සේගේ ස්පර්ශය ලද්දා යැයි සැලකෙන ඇසතු බෝ රුකේ ශාඛා වහන්සේ නමකගේ එක් පලා පැහැති පත‍්‍රයක් දෙස බලා හිඳීම තුළ අසීමාන්තික සැනසීමක් උදා වේ. බෝ පත‍්‍ර වල පවතින සුවපත් කරවීමේ ගුණය මත, මේ වන විට වෛද්‍ය විද්‍යානුකූලව සුවකළ නොහැකි රෝගීන් පවා සුවපත් වී ඇති බවට තොරතුරු සැලවී තිබේ. ජීවිතයේ සුවය යනු, භවභෝග සම්පත් නොව, අධ්‍යාත්මික සන්තුෂ්ටිය යි.

බුදුන් වහන්සේ මෙලොව පහල වූ උදාරතම දාර්ශනිකයා වන සේක. උන්වහන්සේගේ අප‍්‍රමාණ ගුණ  කදම්බය තුළින් අපට අප අභ්‍යන්තරයේ අංශුවක් තරම්වත් ප‍්‍රමාණයක් ජනිත කරවා ගත හැකි නම්, ඔහුයි මෙලොව වටිනා ධනයේ හිමිකරුවා වන්නේ. බුදුරජාණන් වහන්සේ පැවසූ පරිදි ආරෝග්‍යා පරමා ලාභාවේ. නිරෝගීකම ජීවිතයේ ලබන උතුම් ම ලාභය යි. සන්තුට්ඨි පරමං ධනං”. ”සතුට උතුම් ම ධනය වේ”. මේ අනුව, ලෝකයේ අති ශ්‍රේෂ්ඨතමයාණන් වහන්සේ වදාළේ ද මිනිසා සතු උතුම් ම ලාභය හා ධනය වන්නේ නිරෝගිකම හා සතුට බවයි. එකී නිරෝගීකම, ආගම - දහම තුළ මනාසේ පිළිවෙත් සැපිරීම මත සාක්ෂාත් වනු ඇත. එමෙන් ම එකී අධ්‍යාත්මික සැනසීම හරහා පැමිණෙන සියලූ දුක් දොම්නස් පැණි රස සේ මිහිරි වනු ඇත.
මෙම ඡයාරූපය ඉතාම කලාත්මක මෙන්ම ගුණාත්මක අතින් ද ඉහළ තලයක පවතින්නක් වන අතර වර්ණමය සබැඳියාව හා ආලෝකමය විහිදී යාම තුළින්, රූපමය ගුණය වඩා තීව‍්‍ර කර ඇති බැව් පෙනේ.

රූපය තුළ දැක්වෙන කුඩා හිමිනම තුළින් ඡුායාරුපයට මනා සජීවී බවක් ඇති කර ඇති අතර එතුළින්   ඡයාරූපමය වටිනාකම ඉහළ ගොස් තිබේ.  කුඩා හිමි නම කුටියේ කෙළවරකට වී, දැඩිසේ අධ්‍යාත්මය සරසවාලන, බුද්ධාලම්භන ප‍්‍රීතිය වඩවන, හදවත තුළ සැනසීම ජනිත කරවන, බෞද්ධ ඉගැන්වීම් සහිත බෞද්ධාගමේ ස්වර්ණමය ග‍්‍රන්ථයක් පරිශීලනය කරනවා යැයි පෙනේ. මෙකී ඡුායාරූපය, දහවල් දැඩි අව් රශ්මියක් පවතින අවස්ථාවක ලබා ගන්නට ඇතැයි කාමරය තුළට ආලෝකය පැමිණ ඇති සිදුරු තුළින් දිස්වේ. කුටිය තුළ ආලෝකය ලැබෙන කුඩා කුටීර සහිත කවුළු 02ක් පෙනෙන අතර එක් කවුළුවකින් ඉතාම පැහැදිලිව සිදුරු ඔස්සේ ආලෝක ධාරාවන් කුටිය තුළට රේඛාමය හැඩයක් සමග ඇතුළු වේ. ඉන් එක් ආලෝක ධාරාවක් ඍජුවම කුඩා හිමියන් පරිශීලනය කරමින් සිටින ග‍්‍රන්ථය මතට එල්ල වී තිබේ. ඒ අනුව එකී ග‍්‍රන්ථය තුළින් සැබෑව ට ම ජීවිතාලෝකය ලබා දෙන බවට එය කදිම සාක්‍ෂියක් ද වේ. එම ආලෝක ධාරාව අනෙක් ආලෝක ධාරාවන් ට සාපේක්‍ෂව, ඉතා පළල් පැතිරුණු හා තියුණු ස්වභාවයක් ද ගනී. එමෙන් ම  හිමිනම අසල බිත්තියේ පැමිණෙන ආලෝක ධාරාවන්ගේ සලකුණු 03ක් ඉතාම පැහැදිලිව දිස්වන අතර එතුළින් බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ ශාන්තිය, හිමිනම වෙත ලැබෙන බවට ඉඟි පළ වීමකැ යි සිතේ. එමෙන් ම හිමිනම ට ඉදිරියෙන් පැහැදිලිව පෙනෙන ආලෝක ධාරාව නිසාවෙන්, උන්වහන්සේ අධ්‍යාත්මික සුවය සාක්ෂාත් කරගැනීමේ සුමධුර ආලෝකයට පිළිපන් බව විද්‍යාමාන වේ. එනම්, උන්වහන්සේ එකී නිවන නැමැති ආලෝකමය පවුර තුළට ඇතුල් වී ඇති බවයි. කුටියේ දිස්වන ප‍්‍රධාන කවුළු 02හි ම කුඩා සිදුරු අභියස ට යාම සඳහා, උස් පඩි පේළි දැකගත හැකි ය. එතුළින් නිවන නැමැති විමුක්තිය සාක්‍ෂාත් කරගනු සඳහා, බොහෝ බාධක විඳගනිමින් තම මනස, මනාසේ දියුණු කරගත යුතු බවක් හැඟවේ. එමෙන් ම කුඩා භික්‍ෂුවගේ හිස වටා යම් ආවරණයක් හැඳ තිබීම තුළින්, බාහිර ලෝකය සම`ග ඇලීම්- ගැලීම් තුළින් අත්මිදීම, ඈත්වීම සඳහා මානසික පවුරක්  සකස් කරගත් බවක් දිස්වේ. කුඩා හිමිනම සිටගෙන සිටීමත්, මනා සංයමයකින් ග‍්‍රන්ථය වෙත දෑස් යොමුකරගෙන සිටීමත් තුළින් බාධක හමුවේ නොසැලෙන ගුණය හා අකම්පිත බව විද්‍යාමාන වේ.

කුටිය අවට සකස් වී ඇති අඳුරු අවකාශ පරාසයන්, ආලෝකමය පරාසයන් ට වඩා අඩු බවක් දිස්වන අතර, එ තුළින් ද මනස යහපතට වඩා අයහපත කෙරෙහි යොමුවීම ට සකස් වී ඇති ලෞකික ලෝකය  පිළිබඳ නිරූපණය වන අතර ලෝකෝත්තර සුවය තනා ගැනීමේ ඇති අසීරුතාව ගම්‍ය කරවයි. ගුරු පැහැති කුටිය තුළ, තද මෙරුන් පැහැ සිවුර තුළින් ජීවිතයේ නිසරු බව ද හිමිනම අතැති ග‍්‍රන්ථයේ  පිටකවරයේ ඇති වර්ණමය සුසංයෝගය තුළින් නිර්වාණයසතු අපූර්ව ශෝභාමත් මිහිරියාව පිළිබඳ ව ද විද්‍යාමාන වේ.

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...