Monday 25 June 2018


Pool Boy  සමගින්    Coke





විශාල මන්දිරයක් වැනි නිවසක පිහිනුම් තටාකයක් තිබීම එතරම් විශ්මයට කරුණක් නොවෙතත්, සාමාන්‍ය මධ්‍යම පාන්තික දිවි ගෙවන, එදා වේල ඉතා දුක් මහන්සියෙන් උපයා සපයා ගනු ලබන දුප්පත් මිනිසුන්ට විශාල මන්දිරයක්, නිවෙස ඉදිරිපිට අලංකාර පිහිනුම් තටාකයක් යනු ඔවුන් සිය මනෝලෝකය තුළ ඉදිකරගෙන ඇති නිවසේ ආකෘතිය යි. එමෙන් ම මන්දිර වැනි නිවෙස්, පිහිනුම් තටාක යනු ජනපි‍්‍රය සංස්කෘතියේ ප‍්‍රබල අවයවයන් ය. මානව චිත්ත සන්තානගතව පවත්නා වූ ගැඹුරු අධ්‍යාත්මයේ පත්ල සංස්පර්ශය කිරීමට තරම් මෙම සාධක ප‍්‍රබල ය.

නාන තටාකය, නැතහොත් පිහිනුම් තටාකය පිරිසිදු කරන්නා ඉතා ම කඩවසම් තරුණයෙකු වන අතර කායවර්ධන ක‍්‍රමවේදයන් ඔස්සේ ගොඩනගාගත් ිසං ච්ජන සහිත අපූරු සිරුරක් ඔහුට හිමිය. එය නූතන සමාජ ව්‍යුහය තුළ අතිශය ජනපි‍්‍රය අංගයක් බවට පත්ව තිබේ. නූතනයේ තරුණ ප‍්‍රජාව තුළ ශරීරයේ හැඩය පිළිබඳ වැඩි ඉඩක් හා වැඩි ජනපි‍්‍රයතාවක් හිමි වී ඇතිබව පැහැදිලි ය. විශේෂයෙන් සමාජ ජාල මාධ්‍ය භාවිතය තුළ වන උන්මාදය ඊට රුකුල් සපයනු ලබයි.

කායවර්ධන කාර්යය මනාව ප‍්‍රගුණ කළ තටාකය පිරිසිදු කරන තරුණයාව ධනවත් නිවසේ තම තමන්ගේ මනෝ ලෝකවල අතරමංව සිටින සොහොයුරෙකුගේ හා සොයුරියකගේ නෙත ගැටේ. මහා මන්දිරයක නොයෙක සැප සම්පත් මතින් ආඪ්‍ය වූ සුඛෝපභෝගී ජීවිත ගෙවූව ද ඔවුන් සිය තාරුණ්‍ය තුළ වන මිහිරි රසය, වින්දනය නිසි සේ ළඟා කරගත්තවුන් බැව් නොපෙනේ. එතුළින් ධනවාදී සමාජය තුළ නිධන් ගතව පවතින හුදෙකලා වීම දැක්වෙතත්, එකී යථාර්ථය නිසි පරිදි ග‍්‍රාහක ගත නොකර, නිෂ්පාදකයාට අවශ්‍ය වපසරිය මුණගැසෙන තෙක් පමණක් එම හුදෙකලා බව දැන්වීම තුළ අන්තර්ගත කර තිබේ. නිවසට පැමිණෙන පිරිසිදු කරන්නෙකුට පවා නිවසේ වෙසෙන තරුණ නැගෙණිය හා සොයුරා ආකර්ෂණය වීම තුළ ඔවුන්ගේ සමාජමය දැනුමේ මඳ බව, ධනපති පැලැන්තියේ සමාජානුයෝජනයේ පවත්නා දුර්වලතාවය හඳුනාගත හැකිය. එහෙත්, එකී කාරණා යටපත් කරමින් ශරීර ස්වභාවය මත සිදුවන ලිංගිකමය ආකර්ෂණය පමණක් මෙහිදී හුවා දක්වනු ලබයි.

ලිංගිකත්වය වනාහි ප‍්‍රබල ජනපි‍්‍රය සංස්කෘතිකාංගයන් අතර ඉදිරිපෙළ නියෝජනය කරනු ලබන මානවීය කාරණාවකි. මිනිසා නිරන්තයෙන් පෙළෙනු ලබන හා කවරවුව අවස්ථාවක මතුකරගනු ලබන අවශ්‍යතාවය වනුයේ ලිංගිකත්වයයි. සාමාන්‍යයෙන් වෙළඳ දැන්වීම් කලාව තුළ ලිංගිකත්වය හුවා දක්වන අවිය ලෙස යොදා ගනු ලබන්නේ කාන්තාවයි. මෙහිදී එය පුරුෂයෙකු ඔස්සේ නිරූපණය කිරීම අසාමාන්‍ය තත්ත්වයක් ලෙස ඇතැමෙකුට පෙනුනත්, නවීන සමාජ සන්දර්භය තුළ පවතින ලිංගිකමය විපරීත තත්ත්වයන් එසේ නැතහොත් LGBT තත්ත්වයන් ජනපි‍්‍රය කාරණාවන් වේ. බොහෝ දුරට සාම්ප‍්‍රදායික ගතානුගතික මතවාදයන් සහිත රටවල් අතලොස්සක හැරෙන්නට බොහෝමයක් බටහිර රටවල මෙවන් ලිංගිකමය කාරණා නීතිගත කර තිබේ. ඒ පිළිබඳ මානුෂීය පදනමකින් විමසන කල එහි වරදක් නොවේ. නමුත් සාම්ප‍්‍රදායික ගතානුගතික මතවාද පෝෂණය කරනුනවුන්ට එය අතිශය සමාජ විරෝධී කාර්යයකි.

කෙසේ වෙතත්, මෙම දැන්වීම ඉතාලියේ ප‍්‍රදර්ශනය කරනු ලැබුවක් වන හෙයින් එම සමාජ සන්දර්භය තුළ වන දෘෂ්ටිය හා සමාවාය වන බව පිළිගත හැකි ය. මෙම දැන්වීමේ නිවසේ වෙසෙන තරුණිය හා තරුණයා, තටාකය පිරිසිදු කරනු ලබන්නා දෙස නෙත් යොමු කරනුයේ එක ම ඉරියව්වකිනි. එය එම තරුණිය සතුව පවතින ලිංගික රුචිකත්වය සේ ම තරුණයා තුළ පවතින ලිංගිකමය රුචිකත්වයේ තරම විසඳ කරවයි. මෙම තරුණයා තුළින් සමලිංගිකත්වය ද, තරුණිය තුළින් විෂම ලිංගිකත්වය යන්න ද නිරූපණය වේ. සමලිංගිකත්වය යනු අද ලෝකයේ අතිශය ජනපි‍්‍රය, නිතර කතාබහට ලක්වන, ලෝකය තුළ නව පුවත් මවනු ලබන ලිංගිකමය අවශ්‍යතාවයකි. එම සාධකය මෙම දැන්වීම තුළ ජනපි‍්‍රය සංස්කෘතිකාංගයක් ලෙස යොදා ගෙන තිබේ.

මෙම තරුණයා හා තරුණිය (සොයුරා හා සොයුරිය) හැඳ සිටින ඇඳුම්වල වර්ණ භාවිතය තුළින් ද රතු පැහැය නිරූපණය කෙරෙන අතර එය ලිංගිකත්වය නැමැති අවශ්‍යතාවය නිරූපණය කරනු ලබන වර්ගයකි. තවද එය කෝක - කෝලා හි නිල වර්ණය ද වේ. එක් අතකට ලිංගිකත්වය යනු කෝක-කෝලා බව කියාපාන්නේ යැයි ඇතැමෙකු පැවසුව ද, එහි වරදක් නොහී. කෙසේ වෙතත් ලිංගිකත්වය සේ ම සමලිංගිකත්වය ද ජනපි‍්‍රය සංස්කෘතිය නියෝජනය කරනු ලබන සාධනීය ලක්ෂණ සේ හඳුනා ගැනීම මැනවි.
මෙම දැන්වීම ආරම්භ වන්නේ තටාකය පවිත‍්‍රකරන්නා එයට වැටී ඇති වියළි රතු පැහැති ශාක පත‍්‍රයක් සිය දැලට හසුකර ගැනීමෙනි. එය මෙම දැන්වීමේ පසුපෙළ සිදුවන සිදුවීම් මාලාව රතු පැහැ ශාකපත‍්‍රය මඟින් ද, එම සිදුවීම් මාලාවේ අවසානයේ පවතින නිෂ්ඵල බව පත‍්‍රයේ වියළි බව තුළින් ද ඉදිරිපත් කරන්නේ යැයි හැෙඟන අතර ම රතු පැහැ පත‍්‍රයක් වීම තුළ කෝක-කෝලා පිළිබඳ ඉඟි කිරීමක් ද ඒ තුළ ඇතැයි සිතීමේ වරදක් නැත.

නිවසේ වෙසෙන තරුණිය සුවපහසු කාමරයකට වී විදුලි පංකාව අසල කෝක-කෝලා පානය සමඟන් ද, තරුණයා උඩු මහලේ සිය සැපවත් කාමරයේ ජනේලය අසල සිසිල් සුළෙඟ් පහස විඳිමින් ද සිටිනු පෙනෙන නමුත්, තටාකය පිරිසිදු කරන තරුණයා දැඩි හිරු රශ්මියත්, වෙහෙසත් නිසා දහඩිය වගුරුවයි. එය එක්තරා අතකට ලිංගිකමය ආකර්ෂණයක් මතු කරවන අතර, එම දර්ශනය නිවසේ වූ දෙදෙනාගේ චිත්තාභ්‍යන්තරය තුළ පවත්නා ගැඹුරු භාවයන් ප‍්‍රකම්පනය කළේද යත්, ඔවුන් දෙදෙනා තුළ ලිංගිකමය උත්තේජනයයක් ඇතිකරවා තිබේ. දෙදෙනා ම එකවර මුළුතැන්ගෙය වෙත දිව යන්නේ, පිරිසිදු කරන්නාට කෝක-කෝලා බෝතලයක් පිරිනැමීමට ය. එසේ පිරිනමනුයේ කෝක-කෝලා යන්න දෘශ්‍ය සාධකය වුව ද, අදිසි ලෙස ලිංගිකමය ආරාධනයක් ද එතුළ ගැබ්ව පවතී. ලිංගිකත්වය නැමති ජනපි‍්‍රය අංගය මෙහිදී අතිශය නිර්මාණශීලී අන්දමින් සිය නිෂ්පාදිතයේ අලෙවි ප‍්‍රවර්ධනය උදෙසා යොදා ගෙන ඇති අන්දම හඳුනා ගත හැකි ය.

සොයුරිය හා සොයුරා යන දෙදෙනා ම දිවවිත් ශීතකරණයේ වූ කෝක-කෝලා බෝතල් ලබා ගන්නා අතර, ආහාර පිරුණු ශීතකරණයක් සාමාන්‍ය පවුල් පරිසරයක දක්නා අපහසුය. පැණිරස, පැණිබීම වලින් පිරුණු ශීතකරණ ජනපි‍්‍රය අංගයන් ය. එමෙන් ම මෙහිදී කෝක-කෝලා රැුගෙන මොවුන් දෙදෙනා අනෙකා පරයමින් දිවයයි. එහිදී කැළෑ සතුන් මෙන් පොරබඳිමින් සිදුවන හරඹය තුළ ලිංගිකත්වය තුළ වන පොපියන බව, තාරුණ්‍ය, ලිංගිකමය උද්වේගකර බව යනාදිය පිළිබිඹු වේ. ලිංගිකත්වය හේතුවෙන් මිනිසා තුළ පවතින්නා වූ පෙළීම මෙම තරඟකාරි බව ඔස්සේ මනාව නිරූපිත ය. එම ලිංගිකමය පෙළීම කිසිවිටෙකත් කෝක-කෝලා වලින් වියුක්ත නොවන්නක් බව ද, කෙතරම් දෙදෙනා බිම පතිත වුවද, කෝක බෝතල් බිඳ නොගැනීමෙන් අත් නොහැරීමෙන් එය කෝක-කෝලා සමඟ කෙතරම් බැඳී පවතින්නක් ද යන්න ප‍්‍රකට කරවයි.

තවද මෙවන් සුළු සුළු අරගල සොයුරු සොයුරියන් අතර පවතී. එය ජනපි‍්‍රය අංගයක් ලෙස හුවා දක්වමින් කෝක් පානය සිය දැන්වීම්කරණයට යොදා ගෙන තිබේ. මේ ඔස්සේ ග‍්‍රාහකයාගේ සිතිවිලි කෙරෙහි වඩ වඩාත් සමීපස්ථ වීමට කෝක-කෝලා සමත් වී තිබේ. එමෙන් ම මෙහි භාවිතා කර තිබෙන සංගීතය තුළ පවතින ජනපි‍්‍රය ලක්‍ෂණය තුළ ද ලිංගිකත්වය නොමැති කාරණය වඩ වඩාත් ග‍්‍රාහක මනස තුළ අවුළුවාලන්නට සමත් වේ. එහි ගැයෙන පදමාලාව ද එකී හැඟීම වඩාත් තීව්ර කරවයි. එමෙන් ම ලිංගිකත්වය තුළ වන උද්වේකරබව වඩ වඩාත් තීව්ර කරවන්නට නාද රටා, සංගීතය, පද වැල, කටහඬ ආදිය එකසේ සහාය වී තිබේ.

උද්වේගකර පොරබැඳීමක් අභිබවමින් දිව එන සහෝදර යුවල තටාකය අසලට ගිය විට දක්නට ලැබුණු දෙයින් පුදුමයට මෙන් ම කලකිරීමට ලක්වෙන බව පෙනේ. ඒ වන විට වෙනත් කාන්තාවක් (ඇතැම් විට මොවුන්ගේ මව විය හැකිය* පැමිණ තටාකය පිරිසිදු කරන්නාට කෝක් බෝතලයක් පිරිනමා තිබුණි. ඔහු එය එකහුස්මට පානය කරන අයුරු බලා සිටින තරුණිය හා තරුණයා හතිලනුයේ තම ලිංගිකමය ආශ්වාදය ගිලිහීයාම තුළ මතු වූ ඉච්ඡුාභංගත්වයෙනි. එකී ඉරියව් ඔස්සේ ඔවුන් තුළ තෙරපෙන්නාවූ ලිංගිකමය අවශ්‍යතාවයන්ගේ මහත්වය විද්‍යාමාන කරවයි. එමෙන් ම තටාකය පවිත‍්‍ර කරන්නා එය පානය කරන අයුරු දුටු මොවුන් දෙදෙනාගේ හතිලෑම, ඔවුන්ගේ හදවත් තුළ බුර බුරා නැගෙන ආලිංගන පිරි විසේකාර කායික ඒකාත්මික වීමක අපූරත්වයපිරි අවශ්‍යතාවයක නිරූපණයකැයි හැෙඟ්.

කෙසේ වෙතත්, කෝක-කෝලා බෝතලයක් පිරිනමා තම ලිංගිකමය ඇරයුම, පවිත‍්‍රකරන්නා වෙත පිරිනැමීම නිෂ්ඵල උත්සාහයක් බවට පත්වුව ද, එම අවශ්‍යතාවයේ, ඔවුන් තුළ පැන නැගුණු ආශාවේ නිමාවක් හෝ එය බිඳී ගියේ යැයි ආපසු හැඟීමක් නොමැතිය. මෙතුළින් ද කෝක් සමඟින් ආශාවන් අවශ්‍යතාවයන් නිමා නොවන බව පිළිඹිබු කරයි.


මේ අනුව බලන කළ මෙම දැන්වීම ඔස්සේ ධනපති පැළැන්තිය, මන්දිර වැනි විශාල නිවෙස්, පිහිනුම් තටාක, ලිංගිකත්වය හා සමලිංගිකත්වය, වර්ණ, සංගීතය, සංඥා, සංකේත ආදී වශයෙන් වන විවිධ ජනපි‍්‍රය සංස්කෘතිකාංග කෝක-කෝලා හි අලෙවි ප‍්‍රවර්ධන සඳහා අතිශය නිර්මාණශීලී හා සූක්‍ෂම අන්දමින් දැන්වීම තුළ යොදා ගෙන ඇති බව සපථ වේ.

වීඩියෝව නැරඹීම සඳහා පිවිසෙන්න..

No comments:

Post a Comment

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...