Monday 11 June 2018



           ‘‘ලයිව් සහ ලිව්’’

මුහුණු පොත හෙවත් ෆේස් බුක් යනු අප කා අතරත් අතිශය ජනපි‍්‍රය සමාජ ජාල මාධ්‍යයකි. තරුණ, වැඩිහිටි කා හටත් එකසේ සමීප වීමට මෙම සමාජ මාධ්‍යයන්ට හැකි වී තිබේ. මෙහි නිර්මාතෘවරයා වන මාර්ක් ස්කර්බර්ග් අද වන විට ලොව ප‍්‍රබල ධනවතෙකු වීම තුළම ලෝකය පුරාවට ෆේස්බුක් මාධ්‍යයේ ඇති ජනපි‍්‍රයතාවය ප‍්‍රත්‍යක්‍ෂ කරවයි.

 ලෝකය නවීකරණය වීම, ශ‍්‍රීඝ‍්‍රගාමී වීම තුළ සමාජ සබඳතා ගොඩනැඟීම මන්දගාමී වී තිබේ. සමාජීය සත්ත්වයෙකු වන මිනිසාට හුදෙකලා පැවැත්මක් නොමැති හෙයින් ඔවුන් නිතැතින්ම එකී සබඳතා ගොඩනංවා ගැනීමේ ක‍්‍රමවේද පිළිබඳ උනන්දු වෙති. එහෙත් නූතන සමාජ සන්දර්භය තුළ සියල්ල උඩුයටිකුරු වී ගොස් ඇති නිසාවෙන් හොඳින් දන්නා හඳුනන්නන් සමඟ සහයෝගයෙන් සබඳතා පවත්වා ගැනීමේ අපහසුවක් මෙන් ම අකමැත්තක් ද ගොඩනැඟී තිබේ. එවන් පසුබිමක ‘‘ෆේස් බුක්’’ යනු මෙම විපරීත සමාජයට දිව්‍ය ඖෂධයක් බඳු වූවකි.

ස්මාර්ට් ෆෝන් වසන්තයේ පීදුණු ෆේස් බුක් අස්වැන්න අද වන විට බොහෝ සරුසාර ය. නිදහස් මාධ්‍ය අවකාශය තුළ තම අනන්‍යතාව ඔප්පු කළ යුතු නොවේ. ඒ නිසාවෙන් සමස්තයම ලිබරල් වී තිබේ. එහි සාධනීය තත්ත්වයක් නොමැත්තේ නොවෙතත්, නිෂේධනීය විපරියාසයන් කෙරෙහි චුම්භකත්වය අධික වූවක් බව පිළිගැනීම යුක්තියුක්තය.

සමාජය, තාක්‍ෂණය නිසාවෙන් පරිණාමය වූවා සේ ම, සමාජ අවශ්‍යතා මත තාක්‍ෂණයෙහි ද පරිපූර්ණභාවයක් සිදුවිය. මුල්කාලයේදී ෆේස්බුක් මාධ්‍ය තුළ ලබා දී තිබූ අවස්ථාවන් අද වන විට ක‍්‍රමයෙන් වැඩිදියුණු කර, නව අංග එකතු කර, නිරන්තරයෙන් නව මුහුණුවරයන් ගොඩනංවමින් පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය වඩ වඩාත් හිමිකරගෙන තිබේ. මෙකී පරිණතවීමේ ප‍්‍රතිඵලයක් ලෙස , ‘fb live’  පහසුකම ලබා දී තිබේ.

බොහෝ දුරට දේශපාලඥයන්, නළු නිළියන් වැනි අයට සිය මහජන සම්බන්ධතා කි‍්‍රයාවලිය අතිශය සාර්ථකව හා පහසුවෙන් පවත්වාගෙන යෑම උදෙසා , ‘fb live’  පහසුකම උපකාරී වේ. එහෙත් අද වන විට එය සාමාන්‍ය ජනයා අතර ද අතිශය ජනපි‍්‍රය වී තිබේ. අන් කවර සමාජ ජාලයකටම වඩා ෆේස් බුක් තුළින් යමක් ජනනය වූ සැණින් එය ජනපි‍්‍රය අයිතමයක් බවට පරිවර්තනය වීම කෙරෙහි වැඩි කාලයක් ගත නොවන්නේ, එය මිතුරන් අතර දිගින් දිගටම බෙදා හැරීමට( share )ඇති හැකියාව නිසාවෙනි.
ලංකාව යනු කිසියම් ශ්‍රේෂ්ඨ සංස්කෘතිමය හා සමාජීය වැදගත්කමක් සහිත දිවයිනකි. එතුළ කාන්තාවකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. කාන්තාව පුරාණයේ සේ ම නූතනයේ ද පුරුෂයාට යටත් වී හෝ පුරුෂයාගේ දාසියක ලෙස සිටිය යුතු යැයි අදහසක් නොමැති අතර, කාන්තාවට ද පුරුෂයකුට සේම සමාන අයිතිවාසිකම් හිමිව තිබේ. මෙකී නිදහස් සමාජීය පසුබිම ඔස්සේ ඉදිරියට පැමිණි කාන්තාව සමාජ ජාල මාධ්‍ය තුළ විහිළුවක් බවට පත්වීම කණගාටුවකි. එක්තරා අතකට මෙහිදී සමාජ ජාල වලට හෝ පේජ් ඇඞ්මින්වරුන්ට බැණවැඳී පලක් නැත. වරද, දුරදිග නොබලා වඳුරාට දැලිපිහිය ලැබුණා සේ දඟලන ගැහැණුන්ගේම ය. ,ත් කසඩැ, එලෙස කාන්තා පාර්ශවය තුළ උන්මාදයක් බවට පත්ව ඇති අන්දමට  ඕනෑ තරම් නිදසුන් දැකගත හැකිය.

නාන ළිඳ ළඟ දිය රෙදි කඩක් පටලවා ගත් පොශ් අක්කෙකුගේ කසඩැ වීඩියෝව මුහුණු පොත පුරාම සිතුවමක් වී ඇත. එයට ලැබී ඇති ප‍්‍රතිචාර( comments) තුළින් අවමානයට පත් වන්නේ ඇය පමණක් නොව, සමස්ත කාන්තා ප‍්‍රජාවම ය.
එමෙන්ම පෙම්වතා සේ පෙනී සිටිනා සල්ලාල නපුංසකයෙක් තම පෙම්වතිය සමඟ හොටල් කාමරයක සයනයේ හිදිමින් ආලිංගනය කරන අවස්ථා පවා මුහුණු පොතට මුදා හරිමින් වීරයන් වන්නට තතනයි. එතුළද ගර්හාවට ලක්වන්නේ පුරුෂයා නොව එම ස්ත‍්‍රිය යි.

විදේශයන්හි විවිධාකාර රැුකියා සඳහා මෙරටින් බැහැරවී සිටින ශ‍්‍රී ලාංකික කාන්තාවන් ද විවිධාකාර නොමනා හැසිරීම් සහිත වීඩියෝවන් මුහුණු පොත වෙත දිගහරියි. ඒවායින්ද අවමන් විඳින්නේ ඔවුන් අතලොස්ස පමණක් නොව, විදේශ රැුකියා සඳහා රටින් බැහැරව සිටින සමස්ත කාන්තා ප‍්‍රජාවමය.

විහිළු තහළු කරමින් විනෝදයෙන් සතුටින් සිටීමට කිසිවෙකුට කිසිවෙකුගෙන්වත් බාධාවක් නැත. නමුත් එය සමස්ත ලෝකයාට ම නොහොබිනා ලෙස ප‍්‍රදර්ශනය කිරීමෙන් ඔබට ඔබේ පෞද්ගලිකත්වය අහිමි වී යනවා සේම එය ඔබේ පැවැත්මට එය අහිතකර වේ. එක් කාන්තාවක් වරදක් කළද, සමස්ත කාන්තා ප‍්‍රජාව ම ඊට අපහාස විඳිය යුතු වේ. එහෙයින් සමාජ මාධ්‍ය නැමති දැලි පිහියෙන් කිරි කෑමෙන් රැුවුලත් කැඳත් දෙකම බේරාගත නොහැකි බව තරයේ සිහි රඳවා ගෙන තැනට සුදුසු පරිද්දෙන් කටයුතු කිරීම තුළ ලාංකීය කාන්තාවගේ ගාම්භීරත්වය නව මාධ්‍ය ඔස්සේ මිය නොයනු ඇත.
                                                                                            

                                                                                               රිද්මිකා ශලනි වෙත්තසිංහ
                                                                                               - කැලණිය විශ්වවිද්‍යාලය -



3 comments:

ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...