Friday, 10 August 2018




 ටී.එන්.එල්. ප‍්‍රවෘත්ති, ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා සහ මාධ්‍ය නිදහස පිළිබ`ද ඇ`දි කාටුන් ආශ‍්‍රිත විග‍්‍රහය  -  02   






1996.12.28 දින  TNL  රූපවාහිනියේ විකාශනය වූ ප‍්‍රවෘත්ති විකාශනය අරඹයා රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ බව නොරහසකි. එම වාර්තාකරණය තුළින් LTTE සංවිධානයේ ප‍්‍රතිරූපය වර්ධනය වී මෙරට හමුදාවේ ප‍්‍රතිරූපය වර්ධනය වී මෙරට ආරක්ෂක අංශවල ප‍්‍රතිරූපය බිඳ වැටුණු බවත්, එලෙස සිදු කිරීමෙන් මෙරට ආරක්‍ෂක අංශය හෑල්ලූ කළ බවටත් ඔවුන්ව අධෛර්යට පත් කළ බවටත් TNL නාලිකාවට හා එහි ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා මහත්මියට බොහෝ චෝදනා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් එල්ල විය.

මෙම ප‍්‍රවෘත්ති විකාශනය ත‍්‍රස්තවාදයට හිතෛෂී වූවක් ය, යන චෝදනාව එල්ල කරමින් ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මිය ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. මෙම සිදුවීම් සිදුවන කාලය තුළ එවකට විධායක ජනාධිපති වූ ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විදේශ සංචාරක නිරත වෙමින් සිටියා ය.

ඇය යළි ලංකාවට පැමිණෙන විට ත‍්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ මාධ්‍ය පාලනය කරන බවට, මාධ්‍ය නිදහස අහිමි වී ඇති බවට, ප‍්‍රකාශන නිදහස රජයේ අතකොළුවක් බවට පත්ව ඇති බවට දැඩි ලෙස චෝදනා එල්ල වන්නට විය.

මෙම කාටූනය එස්.සී.  ඕපාත විසින් අඳින ලද්දක් වන අතර චන්ද්‍රිකා මහත්මියගේ මුහුණේ ඇත්තේ ප‍්‍රසන්න පෙනුමක් නොවේ. ඇගේ ඔසරියේ බෝඩරය තුළ විධායක ජනාධිපති ලෙස ලියා තිබීම උපහාසාත්මක වුව ද, ඉන් ගම්‍යමාන වන්නේ ඇයට ඇති බලය යි. ඇයගේ ශරීරය ඉතා ම විශාල ලෙස ඇඳ තිබීම තුළින් ද ඇගේ බලවත් බව පිළිබිඹු කරවයි. ඇය
 දෙ අතින් පිරිමින් දෙදෙනෙකු උස්සාගෙන සිටින අන්දම දක්වා තිබීම ද උපහාසාත්මක මෙන්ම දුටුවනම හාස්‍ය මතු කිරීමට ද හේතුවේ. පිරිමින් දෙදෙනෙකු ඔවුන්ගේ කණ් වලින් එකවර දෙඅතින් උස්සාගෙන සිටින්නට ප‍්‍රායෝගිකව මෙලොව සිටින කිසි`දු කාන්තාවකට නොහැකි ය. එහෙත් විධායක ජනාධිපති යන බලය නිසාවෙන් ඇයට එවන් යෝධ ශක්තිමයක් හිමිව ඇති බව ව්‍යංගාර්ථයෙන් විද්‍යාමාන වේ.

ඇයගේ වම්පස එවකට මාධ්‍ය ඇමති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා ද දකුණු පසින් එවකට ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළ අනුරුද්ධ රත්වත්තේ මහතා ද දැක්වෙයි.
TNL තුලින්  සිද්ධිය විකාශනය වූ පසු මොවුන් විසින් ප‍්‍රසිද්ධියේ වෙල්ලාලි හමුදා කඳවුර සම්බන්ධ සිද්ධිය හා පවතින යුධ වාතාවරණය පිළිබඳ ජනතාවට අදහස් ඉදිරිපත් කළ අතර, TNL නාලිකාව එවන් ප‍්‍රවෘත්තියක් පළ කරන තෙක් ම ජනතාවට යුද්ධය පිළිබඳ කිසිදු තොරතුරක් මෙම ඇමතිවරුන් විසින් ලබා දී නොතිබුණි. මෙලෙස ප‍්‍රවෘත්තයක් පළවූ පසුව වහා ජනතාව ඇමතූ මොවුන් පිළිබඳ සියල්ලන් මවිතයට පත් විය. ඒ කෙසේ වෙතත් චන්ද්‍රිකා මහත්මිය මොවුන්ගේ කණෙන් අල්ලාගෙන සිටින්නේ මාධ්‍යයට එරෙහිව කටයුතු කිරීම සඳහා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගත්තේ ඇයි ද? යන ප‍්‍රශ්නය අසමිනි. ඔවුන්ගේ මුහුණු තුල බියට පත් වූ බවක් දැක ගත හැකි අතර ම කදුළු ද වගුරනු පෙනේ. එතුළ යම් උපහාසයක් ගම්‍ය කරවන්නට  ඕපාත සිය කාටූනය තුළින් සමත්ව ඇත. මොවුන් දෙදෙනාගේ දෙකණින් ඔසවා ගෙන, සොලවන බව ඔවුන් වටා දක්වා ඇති රේඛා තුළින් ගම්‍ය වේ.

මාධ්‍ය ඇමති ලෙස කටයුතු කරනු ලබන මංගල සමරවීර ආරක්‍ෂක නිල ඇඳුමක් හැ`ද බස්තමක් අතතැව සිටිනු දැක්වීම හාස්‍යයකි. ඔහුගේ අතින් එම බස්තම ගිලිහෙන බවක් දක්නට ලැබෙන අතර විධායක ජනාධිපතිකම කෙතරම් බලවන්ත වූවක් ද යන්නත්, කාන්තාවකගේ ගෝරනාඩුව හමුවේ පිරිමින් කෙතරම් බියට පත්වන්නේ ද යන්නත් මෙම කාටූනය තුළින් උපහාසයට නඟා ඇත. එපමණක් ද නොව මෙතරම් දැවැන්ත පුරුෂ චරිත ඉතා කුඩාවට ඇඳ තිබීමද උපහාසනාත්මක ය.  ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරන අනුරුද්ධ රත්වත්තේ ද ආරක්ෂක ඇඳුමක් පැළඳ සිටින අතර ඔහුගේ හිස පළදින තොප්පිය අතෙහි වෙයි. එතුළින් චන්ද්‍රිකා මැතිණියට ඇති පක්‍ෂපාතීත්වය විධායක ජනාධිපති බලසම්පන්න භාවය පිළිබඳ ඔවුන් තුළ ඇති වන්දිභට්ට දුර්වල මානසිකත්වය ද විද්‍යාමාන වේ.

මේ සියලූ සිදුවීම් දෙස ජනෙල් කවුළුවකින් එහා හිඳිමින් දැක්ක ද, නොදැක්කාසේ සිටින්නේ, හිටපු මාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායක මහතා ය. එතුළින් ද විද්‍යාමාන වන්නේ ,
ජනාධිපතිනිය මෙලෙස කණෙන් ඇල්ලූව ද ඉන් එහා කිසිදු ආන්ත‍්‍රාවක් ඇගෙන් සිදු නොවන නිසා මෙය එතරම් ගණන් නොගත යුත්තක් නොවන්නේ ද?

ප‍්‍රකාශන නිදහස , මාධ්‍ය නිදහස යන්නෙහි සැබෑ ස්වරූපද මෙයයි. එය රජයේ, ඔවුන්ගේ වන්දිභට්ටයන්ගේ තෝතැන්නක් මිස, පුරාජේරු කියමින් පෙන්වාලන තරම් විසිතුරු නිදහසක් හෝ අයිතියක් මාධ්‍යයට නොමැත.



Tuesday, 7 August 2018



සැනසීම




වර්තමාන ආර්ථික වපසරිය තුළ මිනිසා මුදල් පසුපස හඹා යන යන්ත‍්‍ර බවට පත් ව ඇත. මිනිසා විසින් මිනිසාගේ ම විනාශය කෙරෙහි අර අදින ලීලාවක් එ තුළ විද්‍යාමාන වේ. මව හා පියා යන දෙදෙනා ට රැකියාමය ගැටළු මත අධික ලෙස කාර්ය බහුල වීම තුළ ඔවුන්ගේ දරුවන් හදා වඩා ගන්නේ අත්තම්මා  හෝ සීයා ය. එසේ නැතහොත්, නිවසේ මෙහෙකාරිය යි. බොහෝ නාගරික සමාජ වටපිටාවන් තුළ කුඩා දරුවන් රැක බලා ගන්නේ වැටුපක් මත රැඳී සිටන කාන්තාවන් ය. එසේ නැතහොත් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ය. අම්මා පිසින ලද කිරි හොද්දක් සම`ග බත් කටක්, අම්මාගේ අතින් ම, හුරතල් වෙවී  කන්නට මහා මන්දිර වල දරුවන් පිං කර නැති හැඩ ය. කුඩා ලෑලි හෝ වරිච්චි නිවසේ ජීවිතය ගැටගසා ගන්නට ඉමහත් තැතක් දරණ ගැමි මවක ට දාව උපන් පුංචි එකාට නම්, අම්මාගේ සෙනෙහස අඩුවක් නැත. ගම පුරා ඇවිද ඇවිද, නොයෙක් රස කථා කියවමින් ගහකොළ, සතා - සිව්පාවන්  පෙන්වමින් ඈ තම පුංචි පැටියා ට බත් ගුලි කිහිපයක් මුව තුළට රිංගවයි. එහෙත්, නාගරික සමාජයේ ධනපතීන්ට දාව උපන් පැටවුන් ට එවන් සෞඛ්‍යමය අත්දැකීම් නම් නැත. කොන්ක‍්‍රීට් බිත්ති අතර නොයෙක් පාට සායම් තවරවා විවිධ මාදිලියේ විදුලි බුබුළු, ගෘහ භාණ්ඩ හා පොළව මත අල්වා ඇති දිස්නය න`ගන වීදුරු කැට හැරුණුකොට ඔවුන්ට දකින්න ට ඇත්තේ නිවස වට කර ඇති දැවැන්ත තාප්පය පමණකි. ඔවුන් මෙන් ම ඔවුන්ගේ සමස්ත ජීවිතය ම ද එකී පවුර තුළ ගාල්වී ඇත.

වැටුපකට දරුවන් බලා ගන්නා කතකට වැදූ මවුට මෙන් දරුවන් කෙරෙහි ආදරයක් සෙනෙහසක් ඇත්තේ නම්, එය ආශ්චර්්‍යයකි. හෙට හිරු පායනවා සත්‍යයක් නම්, එය නම් කිසි දින සිදු නොවන්නකි. මා තුළින් ජන්මය ලබන පැටියා ට මා තරම් ම මගේ ම මෑණියන් ට වත් ආදරය කළ නොහැකි බව යි.  මගේ තර්කය වන්නේ. ඒ කෙසේ වෙතත් සිල්ලර මව් සෙනෙහසකින් දරුවා තුළ කුමන චමත්කාරයක් ජනිත කර වේද? මිත්තනියක ට හෝ සීයා කෙනෙකුට මව- පියායන භූමිකාව කිසිම විටෙක 100% ක් ම සාර්ථක කරගත නොහැක. මන්ද යත්, ඔවුන් ජීවිතය තුළ ගතකරනුයේ විවේකීව, නිස්කලංක ව සිටිය යුතු සැඳෑ සමය වීම නිසා ය. එහෙයෙින් ඔවුන් ට කුඩාවුන් සම`ග ඔට්ටු වීම ට වාරු නොහේ. නූතන කාර්්‍යය බහුල ජීවන රටාව තුළ, පුංචි දරුවා අතිශය හුදෙකලා මට්ටමක ට පත් වී ඇත.

තව ද සැමියා හා බිරිඳ යන ස්වර්ණමය බන්ධනයන් පවා විසිරී ගොස් ය. සමාජ පරිණාමය සම`ග අප ද අළුත් විය යුතු ය. ඒ හා සමාන්තර ව ගමන් කළ යුතු ද වේ. එහෙත්, අපට අපව ම අහිමි ලොවක් තුළ  තව කොපමණ කැඹිරුව ද ඉන් ඵලක් වේවි ද?  බිරිඳ සේවා අවසන් වී නිවසට පැමිණෙන විට, සැමියා රාජකාරියේ ය. සැමියා ට ද මේ තත්ත්වය එසේ ම ය. සැමියා හා බිරිඳ යන සංකල්ප වලට ලං වීම, සුහද බව නිරන්තර ස්පර්ශය තිබිය යුතුය.

 එසේ  නොවුණ කල එකී බැඳිම් බිඳි යා හැක.  එ තුළ ඔවුන් තුළ වූ සැනසීම ඔවුන්ගෙන් දුරස් කරවන ප‍්‍රබල කාරණවන් ගැබ් ව පවතී. මෙය දරුණු සමාජමය ඛේදවාචකයන් හි මූලාරම්භය ද වේ. එමෙන් ම ඥාති හිතමිතුරන්වත් නොහඳුනන තාලෙන් ජීවත් වීමටද මෙකී ධනවාදී සමාජ ම ය.  විපරියාසය තුළ ඇති නව ප‍්‍රවණතාවයකි. හුදකලාමය ජීවිත තුළ කුඩා කල සිටම ජීවත් වීමට දැඩි ලෙස හුරුවූ පිරිස් වැඩිවියට පත්වූ විට එකී හුදකලාව අසීමිතව බලාපොරොත්තු වෙති. එහෙයින්, ඥාතීන්  බැහැදැකීම ට හෝ ඥාතීන්ගේ ආගමනය කිසි විටෙකත් ඔවුන් ට ප‍්‍රීතියක් ගෙන නො ආහ.
නෑදෑ  ගෙදරකට ගොඩ වීම මහත් ලෙසට නිදහස අහිමි වන තීරණයකැයි ද, ඥාතීන් - හිතමිතුරන් තම නිවසට  මොහොතක ට හෝ ගොඩ වීම ද, මහා දරුණු වසංගතයක් බෝවන කාරණාවක් සේ පිළිකුල් කරති. සමාජ සංස්ථාවක් සමතුලිත ලෙස ඉදිරියට පවත්වාගෙන යාම ට සමාජමය සබඳතාවන් නිසි පරිදි සිදුවිය යුතු ය. මාමා- නැන්දා, බාප්පා- පුංචි නොහඳුනන සමාජයක අනාගත මානවීය බන්ධයන් කවර  ලෙස පවතීවි ද?

අද වන විට, බටහිර ලෝකයේ රටවල් ආගම දහම වෙත ඇදී ඒම ශ‍්‍රීඝ‍්‍රයෙන් සිදුවේ. ඔවුන් සිය ධනවාදී ආර්ථිකය පසුපස හඹා ගොස් දැඩි සේ ගිලන් වී ඇති සෙයකි. ලාංකේය සමාජයට තමා පෙළෙන්නා වූ  ගිලන් බව පිළිබඳ නිසි අවබෝධයක් නැතිවා සේ පෙනේ.
මානසික වශයෙන් මෙන් ම ශාරීරික වශයෙන් ද මිනිසා ගිලන් වී ඇත. එකී ගිලන් බවින් අත්මිදීම උදෙසා කොපමණ ඖෂධ ගත්තද ඉන් සම්පූර්ණ සුවය නොලැබේ. ජීවිතය තුළ අප නොදන්නවා වූවාට ඖෂධ වලින් ලබන සුවයට වඩා අධ්‍යාත්මික පවිත‍්‍රත්වය තුළින් අත්පත් කරගත හැකි සුවය අති මහත් ය. LCD, LED යැයි නම් දරණ, අධික මූල්‍යමය වටිනාකම් දරණ, යාන්ත‍්‍රික රූප පෙට්ටිය දෙස කෙතරම් බලා සිටියත් ඉන් පූර්ණ සැනසීමක් ඇති නොවේ. එතුළින් සිදුවන්නේ මනස තවත්  දූෂ්‍ය වීමකි.
එහෙත්, අප මහා තථාගතයාණන් වහන්සේගේ ස්පර්ශය ලද්දා යැයි සැලකෙන ඇසතු බෝ රුකේ ශාඛා වහන්සේ නමකගේ එක් පලා පැහැති පත‍්‍රයක් දෙස බලා හිඳීම තුළ අසීමාන්තික සැනසීමක් උදා වේ. බෝ පත‍්‍ර වල පවතින සුවපත් කරවීමේ ගුණය මත, මේ වන විට වෛද්‍ය විද්‍යානුකූලව සුවකළ නොහැකි රෝගීන් පවා සුවපත් වී ඇති බවට තොරතුරු සැලවී තිබේ. ජීවිතයේ සුවය යනු, භවභෝග සම්පත් නොව, අධ්‍යාත්මික සන්තුෂ්ටිය යි.

බුදුන් වහන්සේ මෙලොව පහල වූ උදාරතම දාර්ශනිකයා වන සේක. උන්වහන්සේගේ අප‍්‍රමාණ ගුණ  කදම්බය තුළින් අපට අප අභ්‍යන්තරයේ අංශුවක් තරම්වත් ප‍්‍රමාණයක් ජනිත කරවා ගත හැකි නම්, ඔහුයි මෙලොව වටිනා ධනයේ හිමිකරුවා වන්නේ. බුදුරජාණන් වහන්සේ පැවසූ පරිදි ආරෝග්‍යා පරමා ලාභාවේ. නිරෝගීකම ජීවිතයේ ලබන උතුම් ම ලාභය යි. සන්තුට්ඨි පරමං ධනං”. ”සතුට උතුම් ම ධනය වේ”. මේ අනුව, ලෝකයේ අති ශ්‍රේෂ්ඨතමයාණන් වහන්සේ වදාළේ ද මිනිසා සතු උතුම් ම ලාභය හා ධනය වන්නේ නිරෝගිකම හා සතුට බවයි. එකී නිරෝගීකම, ආගම - දහම තුළ මනාසේ පිළිවෙත් සැපිරීම මත සාක්ෂාත් වනු ඇත. එමෙන් ම එකී අධ්‍යාත්මික සැනසීම හරහා පැමිණෙන සියලූ දුක් දොම්නස් පැණි රස සේ මිහිරි වනු ඇත.
මෙම ඡයාරූපය ඉතාම කලාත්මක මෙන්ම ගුණාත්මක අතින් ද ඉහළ තලයක පවතින්නක් වන අතර වර්ණමය සබැඳියාව හා ආලෝකමය විහිදී යාම තුළින්, රූපමය ගුණය වඩා තීව‍්‍ර කර ඇති බැව් පෙනේ.

රූපය තුළ දැක්වෙන කුඩා හිමිනම තුළින් ඡුායාරුපයට මනා සජීවී බවක් ඇති කර ඇති අතර එතුළින්   ඡයාරූපමය වටිනාකම ඉහළ ගොස් තිබේ.  කුඩා හිමි නම කුටියේ කෙළවරකට වී, දැඩිසේ අධ්‍යාත්මය සරසවාලන, බුද්ධාලම්භන ප‍්‍රීතිය වඩවන, හදවත තුළ සැනසීම ජනිත කරවන, බෞද්ධ ඉගැන්වීම් සහිත බෞද්ධාගමේ ස්වර්ණමය ග‍්‍රන්ථයක් පරිශීලනය කරනවා යැයි පෙනේ. මෙකී ඡුායාරූපය, දහවල් දැඩි අව් රශ්මියක් පවතින අවස්ථාවක ලබා ගන්නට ඇතැයි කාමරය තුළට ආලෝකය පැමිණ ඇති සිදුරු තුළින් දිස්වේ. කුටිය තුළ ආලෝකය ලැබෙන කුඩා කුටීර සහිත කවුළු 02ක් පෙනෙන අතර එක් කවුළුවකින් ඉතාම පැහැදිලිව සිදුරු ඔස්සේ ආලෝක ධාරාවන් කුටිය තුළට රේඛාමය හැඩයක් සමග ඇතුළු වේ. ඉන් එක් ආලෝක ධාරාවක් ඍජුවම කුඩා හිමියන් පරිශීලනය කරමින් සිටින ග‍්‍රන්ථය මතට එල්ල වී තිබේ. ඒ අනුව එකී ග‍්‍රන්ථය තුළින් සැබෑව ට ම ජීවිතාලෝකය ලබා දෙන බවට එය කදිම සාක්‍ෂියක් ද වේ. එම ආලෝක ධාරාව අනෙක් ආලෝක ධාරාවන් ට සාපේක්‍ෂව, ඉතා පළල් පැතිරුණු හා තියුණු ස්වභාවයක් ද ගනී. එමෙන් ම  හිමිනම අසල බිත්තියේ පැමිණෙන ආලෝක ධාරාවන්ගේ සලකුණු 03ක් ඉතාම පැහැදිලිව දිස්වන අතර එතුළින් බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ ශාන්තිය, හිමිනම වෙත ලැබෙන බවට ඉඟි පළ වීමකැ යි සිතේ. එමෙන් ම හිමිනම ට ඉදිරියෙන් පැහැදිලිව පෙනෙන ආලෝක ධාරාව නිසාවෙන්, උන්වහන්සේ අධ්‍යාත්මික සුවය සාක්ෂාත් කරගැනීමේ සුමධුර ආලෝකයට පිළිපන් බව විද්‍යාමාන වේ. එනම්, උන්වහන්සේ එකී නිවන නැමැති ආලෝකමය පවුර තුළට ඇතුල් වී ඇති බවයි. කුටියේ දිස්වන ප‍්‍රධාන කවුළු 02හි ම කුඩා සිදුරු අභියස ට යාම සඳහා, උස් පඩි පේළි දැකගත හැකි ය. එතුළින් නිවන නැමැති විමුක්තිය සාක්‍ෂාත් කරගනු සඳහා, බොහෝ බාධක විඳගනිමින් තම මනස, මනාසේ දියුණු කරගත යුතු බවක් හැඟවේ. එමෙන් ම කුඩා භික්‍ෂුවගේ හිස වටා යම් ආවරණයක් හැඳ තිබීම තුළින්, බාහිර ලෝකය සම`ග ඇලීම්- ගැලීම් තුළින් අත්මිදීම, ඈත්වීම සඳහා මානසික පවුරක්  සකස් කරගත් බවක් දිස්වේ. කුඩා හිමිනම සිටගෙන සිටීමත්, මනා සංයමයකින් ග‍්‍රන්ථය වෙත දෑස් යොමුකරගෙන සිටීමත් තුළින් බාධක හමුවේ නොසැලෙන ගුණය හා අකම්පිත බව විද්‍යාමාන වේ.

කුටිය අවට සකස් වී ඇති අඳුරු අවකාශ පරාසයන්, ආලෝකමය පරාසයන් ට වඩා අඩු බවක් දිස්වන අතර, එ තුළින් ද මනස යහපතට වඩා අයහපත කෙරෙහි යොමුවීම ට සකස් වී ඇති ලෞකික ලෝකය  පිළිබඳ නිරූපණය වන අතර ලෝකෝත්තර සුවය තනා ගැනීමේ ඇති අසීරුතාව ගම්‍ය කරවයි. ගුරු පැහැති කුටිය තුළ, තද මෙරුන් පැහැ සිවුර තුළින් ජීවිතයේ නිසරු බව ද හිමිනම අතැති ග‍්‍රන්ථයේ  පිටකවරයේ ඇති වර්ණමය සුසංයෝගය තුළින් නිර්වාණයසතු අපූර්ව ශෝභාමත් මිහිරියාව පිළිබඳ ව ද විද්‍යාමාන වේ.

Friday, 3 August 2018


ටී.එන්.එල්. ප‍්‍රවෘත්ති, ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා සහ මාධ්‍ය නිදහස පිළිබ`ද ඇ`දි කාටුන් ආශ‍්‍රිත විග‍්‍රහය  -  01



                                                                       
                                                                                         MIDWEEK MIRROR
                                                                                         Wednesday,January 15,1997
                                                                                         Page 07

අම්පාර වෙල්ලාලි විශේෂ කාර්ය බලකා පොලිස් ක`දවුර LTTE ය විසින් යටත් කරගත් බවට TNL නාලිකාවේ පළවු ප‍්‍රවෘත්ති විකාශනය (1996.12.28) මෙරට විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූවක් විය. මෙම පුවත ත‍්‍රස්තවාදීන්ට පක්‍ෂපාතී ලෙස සිදුකරන ලද්දක් ලෙසට ඔභඛ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂිකා ඉෂිනි වික‍්‍රමසිංහ පෙරේරා මහත්මියට දෝෂාරෝපණ එල්ල වූ අතර, එහිදී ඇයව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරිපත් කරමින් කොටි හිතවාදී ලෙස කටයුතු කළ බවත්, ආරක්‍ෂක අංශය පහත හෙළා ප‍්‍රවෘත්ති විකාශනය කිරීම නුසුදුසු බවත්, පවසමින් ඇයව අත්අඩංගුවට ගත් නමුදු එදින ම ඇය නිදහස් කෙරිණි. මේ සිද්ධිය රටේ කොතරම් අවුල් සහගත බවක් ඇති කළේ ද යත්, ඉෂිනි වික‍්‍රමසිංහට විරුද්ධව පැවරුණු නඩුව මූලික කර ගනිමින් මාධ්‍ය නිදහස පිළිබඳ, අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පිළිබඳව, තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ, පුළුල්ව කතා බහට ලක්විය. එපමණක් ද නොව විවිධ විරෝධතා උද්ඝෝෂණ, පෙළපාලි ආදිය ද පැවැත්විණි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ එවකට වරාය හා නාවුක ඇමති ධුරය දැරූ රෙජී රණතුංග මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ අයෙකි. ඔහු 1986 දී මිනුවන්ගොඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පත්විය. 1989දී මුලින්ම  පාර්ලිමේන්තුවට පිවිසි රණතුංග මහතා 1994 දී ආණ්ඩු පක්‍ෂ පර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්විය. ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුලින් ම පත්වූ රෙජී රණතුංග මහතා ඉන් අනතුරුව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, ආහාර හා අලෙවි සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කටයුතු කර ඇති රණතුංග මහතා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර ඇත.
මෙම කාටූනයේ අං දෙකක් සහිතව ගොනෙකුගේ ශරීරියට රෙජී රණතුංගගේ මුහුණ යොදා ඇති අන්දම පැහැදිලිව දැකගත හැකි අතර, අසල වෙළඳසැලක ගම්පහ ලෙස සටහන් වී තිබීම තුළ තව දුරටත් මෙහි දක්වා ඇත්තේ රෙජී රණතුංගයන් ම බවත් පැහැදිලි වේ.

ඔහුව ගොනෙකුගේ ස්වරූපයෙන් දක්වා තිබීම උපහාසාත්මක බව මෙන් ම හාස්‍ය ජනනයට ද සමත් ය. ඔහු, මෙම ඉෂිනි වික‍්‍රමසිංහ හා TNL ප‍්‍රවෘත්ති විකාශනය පිළිබඳ කටයුතු කරනු ලබන අත්තනෝමතික ක‍්‍රියා කලාපය හා එ් සම්බන්ධව සිදුකරන මුග්ධ ප‍්‍රකාශයන්, හැසිරීම් ආදිය විවේචනය කරමින් මෙම කාටූනය ඇඳ ඇති බව පෙනේ.
මොහු කුලප්පු වූ මී හරකෙකු සේ මෙම සිදුවීමේ දී අත්තනෝමතික ලෙස මාධ්‍යවේදීන්ට පහර ගසමින් කටයුතු කරනු ලබන ආකාරයත්, නාසයෙන් දුම් පිටකරමින් ඉතා ප‍්‍රකෝපකාරී ලෙස සාමාන්‍ය ජනයා හා මාධ්‍යවේදීන් පසුපස ලූහුබඳිමින් හිංසා කරන ආකාරයත් උපහාසයට නගමින් කාටූනය තුළ දක්වා ඇති අන්දම පෙනේ.
මෙහිදී දේශපාලන කාටූන් වල දැකිය හැකි ලක්ෂණයක් වන අතිශයෝක්තිය භාවිතා කිරීම මනාව දැකගත හැකිය. මෙතුළ රෙජී රණතුංග මහතාගේ ප‍්‍රකෝපකාරී හැසිරීම තදින් ඉස්මතු වන ලෙසත්, ඔහු වේගයෙන් අවට සිටින්නන් පසුපස දිව යමින් සිටින බවක් නිරූපණය කර තිබේ.

එහෙයින් වාර්තා කරුවන්ගේ ලිපි ලේඛන, පෑන් ආදිය ගිලිහී යන අතර, ඔවුහු පුදුමයට හා බියට පත්ව පලායන අන්දම කාටූනය තුළින් නිරූපණය කර තිබේ. මෙහි වම්පසට රෙජී රණතුංගයන් දිවයන අතර ඔහුගේ පිටුපසින් ඉෂිනි වික‍්‍රමසිංහ හිමින් සීරුවේ පලායන අන්දමක්ද කාටූනය තුළ දක්වා තිබීම උපහාසාත්මක ය. ඇය ද දැඩි ලෙස භයට පත්ව ඇති බව ඇගේ හිස වටා ඇති කුඩා සංකේත තුළින් හැඟී යයි. ඈ අතේ වන කඩදාසි, පෑන් ආදිය විසිරී ඇති ආකාරය දැකගත හැකි ය.

මෙම සිදුවීම තුළින් මූලිකව ම නිරූපණය වන්නේ එකල සමාජය තුළ තිබූ ප‍්‍රකාශනයමය නිදහසට ඇති බාධාවන් ය. මාධ්‍ය නිදහසට වැට බඳිමින් ක‍්‍රියා කරනු ලබන දේශපාලඥයින්ගේ වියරු හැසිරීම් ය. වළං කඬේට පැන්න ගොනා සේ , රෙජී රණතුංග මෝඩ සහ පහත් ලෙසත්, අඥණ ලෙසත්, ක‍්‍රියාකරන බව මෙහිදී දැක ගත හැකි ය. එ් අනුව, පෙනී යන්නේ එකල මාධ්‍යයට සිය අභිමතය පරිදි ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට කිසිඳු ප‍්‍රකාශන නිදහසක් පූර්ණ වශයෙන් නොතිබූ බවයි.






සෙලීනා සමඟ කෝක - කෝලා

1971 අපේ‍්‍රල් 16 වන දින උපන්      Selena Quintanilla - Perez ඇමරිකානු ජාතික ගායිකාවක්, ගීත රචනා කරන්නියක්, නිවේදිකාවක්, නිරූපිකාවක්, නිළියක් සහ මෝස්තර නිර්මාණ ශිල්පිනියක යනාදී විවිධ ක්ෂේත‍්‍රයන්හි නියැලූණු සුරූපිණියකි. ටෙජනෝ (Tejano music) සංගීතයේ රැජිණ ලෙස ඇය හැඳින්වූ අතර, සංගීතය හා විලාසිතා සඳහා ඇයගේ දායකත්වය 20 වන සියවසේ අග භාගයේ මෙක්සිකානු, ඇමරිකානු ජනපි‍්‍රය සංස්කෘතියේ සුවිශේෂී සාධයක් විය. බිල්බොඞ් සඟරාව 1990 දශකයේ ඉහළම වටිනාකමක් සහිත ලතින් කලාකාරිණිය ලෙස ද ඇය නම් කරන ලදී. MAC Cosmatics සමඟ ඇගේ පශ්චාත් අනුග‍්‍රහය ඇතිව රූපලාවන්‍ය නිෂ්පාදන ඉතිහාසයේ හොඳම විකටතා එකතුව බවට පත්විය. ඇයගේ ඇඳුම් තෝරාගැනීමේ රුචිකත්වය පිළිබඳ මාධ්‍ය මඟින් ඇයව හැඳින්වූයේ , "Tejano Madonna"  , යන අන්වර්ථ නාමයෙනි. ඇයගේ ඇඳුම් විලාසිතා ජනපි‍්‍රය සංස්කෘතියේ මූලික සාධකයක් බවට පත්විය. ඇය සැමවිට ම, වඩා ප‍්‍රබල ලතින් කලාකරුවනගේ ලැයිස්තුව නියෝජනය කළ අතර ප‍්‍රධාන සංගීත ප‍්‍රවාහය වෙනස් කරලීමට ඈ කටයුතු කරන ලදී. ඇය එකල යුරෝපය තුළ ප‍්‍රබල කාන්තා ප‍්‍රතිරූපයක් බවට පත්විය.

සෙලීනා විසින් 1992 දී නිකුත් කරන ලද , "Entre a mi Mundo"  , නැමැති ඇමරිකාවේ බිල්බෝර්ඩා කලාපීය මෙක්සිකානු ඇල්බමය මාස අටක් පමණ අඛණ්ඩව අංක එකේ රැඳී සිටියේය. ඇල්බමය ලැබූ වාණිජමය සාර්ථකත්වය හේතුකොටගෙන සංගීත විචාරකයින්ගේ සංගීත සංගමය මෙය එක්තරා පෙරළියක් ලෙස, හඳුන්වනු ලබයි. එහි එන එක් ගීතයක් වන , "Como la flor"  , ගීතය අතිශය ජනපි‍්‍රය ගීතයක් බවට පත්විය.
1993, 1994 Grammy සම්මාන උළෙලේදී හොඳ ඇමරිකානු ගීත ඇල්බමය හිමි සම්මානය සෙලීනාහට හිමිවිය. ඇය අතිශය ජනපි‍්‍රය චරිතයක් වූවා ය. ඇය තුළින් වෙන ම ලතින් සංගීතමය උපසංස්කෘතියක් බිහිවූවා ය. කාන්තාවන් විසින් කරන ලද විශිෂ්ට ම සංගීත ඇල්බම 150 න් NPR ලැයිස්තුවේ 19 වන ස්ථානය දිනාගැනීමට සෙලීනා සමත් වූවා ය.
සංගීතය හැරුණු විට සෙලීනා ඇගේ ප‍්‍රජාව තුළ සිවිල් කටයුතු සඳහා ද ඇගේ කාලය පරිත්‍යාග කළාය. කෝක-කෝලා ටෙක්සාස්හි ප‍්‍රකාශිකාවක ලෙස ඇය පත් කෙරුණි. සෙලීනා ලිංගික ප‍්‍රවර්ධන භාණ්ඩයක් බවට පත්විය. තරුණ ගැහැණු ළමුන් සඳහා ඇගෙන් වන නොගැලපෙන ආදර්ශය පිළිබඳ බොහෝ විවේචන ඇයට එල්ල විය. නිරන්තරවම ඇගේ නිරුවත් ඇඳුම් මෝස්තර බොහෝ අයගේ විවේචනයට ලක්වුවත් සරාගී බවේ ප‍්‍රබල සංකේතයක් ලෙස සෙලීනාගේ මෝස්තර නිරූපණය ජනපි‍්‍රය සංස්කෘතිය තුළ කැපී පෙණින.

ජනපි‍්‍රයත්වයේ පරතෙරට ම පැමිණ සිටි ඇය 1995 මාර්තු මස 31 වන දින වෙඩි තබා ඝාතනය කරන ලදී. එහෙත් ඇගේ ගීත එකතූන් 2016 වන විට ලොව පුරා මිලියන 60 කට අධික සංඛ්‍යාවකට අලෙවි කරන්නට තරම් ඇගේ ජනපි‍්‍රයත්වය අද වනතුරුත් නොනැසී පවත්නා බවට සාක්‍ෂි සපයයි.

කෝක-කෝලා දැන්වීම තුළ ලතින් ඇමරිකානු තරුණියක් සමඟින්, ඇගේ ජනපි‍්‍රය සංගීතමය භාවිතාව යොදා ගෙන තිබේ. කෝක-කෝලා Classic  නිෂ්පාදන සඳහා වන මෙම දැන්වීම තුළ ජනපි‍්‍රය සංස්කෘතියේ එන සංගීතය, ජනපි‍්‍රය ප‍්‍රතිරූප භාවිතය, පුළුල් වේදිකා, ජනපි‍්‍රය ඇඳුම් විලාසිතා ආදියත්, හේතු පාඨය ලෙස , "Can't Beat the Real Thing"  , යන්න යොදා ගෙන ඇති ආකාරයත් තුළ සරාගී බවේ සේ ම Tejano සංගීතයේ රැජිණ වූ සෙලීනාගේ යොදා ගැනීම තුළ කෝක - කෝලා සිය ප‍්‍රතිරූපය ජනතාව අතර ප‍්‍රචලිත කරන්නට ගත් උත්සාහය සාර්ථක එකක් බව පැහැදිලිය.

වීඩියෝව නැරඹීම සඳහා පිවිසෙන්න...
https://www.youtube.com/watch?v=Tj0WZFIeytY





ප‍්‍රචාරණය යනු ? සමාජය යනු විවිධ සබඳතාවන්ගේ එකතුවකි. මෙම සබඳතා අතර තොරතුරු බෙදාහදා ගැනීම ද වෙති. මානව සන්නිවේදනයට මිනිසා විසින් ඇති කර...